Pages

පොළඟා පරාදයි....

2013 නිකිණි මස 15 වනදා

"න්දිකයා, ඒකනෙමේ බන්, මොකෝ අර ගාමිණී අයියගෙ අතට වෙලා තියෙන්නෙ? මොනා වෙලාදේ ?

සරතා ඔය ප්‍රශ්නෙ ඇහුව්වෙ, එදා උදේ අපි කට්ටියම ඉන්දිකයලෑ කුස්සියෙ තැන් තැන් වල වාඩි වෙලා තේ එක හම්බෙනකම් බලාගෙන හිටපු වෙලාවෙ. අගෝස්තු මාසෙ වුණත් මෙහෙ තාමත් උදේට පට්ට සීතලයි. ගේ ඇතුළෙත් සෙරප්පු නැතුව අඩිය තියන්න බැරි තරම් සීතලයි. ඇඟට නිකන් ඉඳිකටු තුල් වලින් අනිනවා වගේ වුණත් මම ඒ සීතලට කැමතියි. අපිටත් හැමදාම මේ තරම් සීතලක් තිබුනනම් ! දඩිය දාන එක කොච්චර වුණත් ඉවසන්න අමාරු දෙයක්. හැමෝම ජැකට් ඇඳලා රෙදි පොරවගෙන හිටියෙ. ඉන්දිකයටනම් එච්චර ගාණක් නෑ වගේ. උන්ට ඉතින් පුරුදු නැතෑ. බටහිරයො වෙච්ච අපිට එහෙමද ! මමයි, දමියායි, සම්පතායි, සරතයි, පිලිපයයි කුස්සියෙ ඉඩ තියන හැම තැනක්ම බදු අරගෙන හිටියේ. එකෙක් පුටුවක් උඩ, අනිකා හිරමනේ උඩ, තව එකෙක් පොඩි බංකුවක් උඩ, තව එකෙකෙක් තනි අන්ඩෙන් උළුවස්සට බරවෙලා, ඔන්න ඔය වගේ. ඉන්දිකයලෑ අම්මයි, අක්කයිත් කුස්සියෙ ගජරාමෙට වැඩ. ඒ අපිට උදේ කෑමට !  තාත්තත් එළියෙ මොකක්ද වැඩක්. අපි ආවයින් මේ මිනිස්සුන්ට වැඩ වැඩි වෙලා. උදෙන්ම නැගිටලා තේ එක හම්බෙනකම් කට්ටිය කුස්සියෙ වටවෙලා කයියක් දාන එකතමා පහු ගිය දවස් තුන හතරෙම සිද්ධ වුණේ, අදත් සිද්ධ වෙන්නෙ.

"අනේ පුතාලා ඒක කිව්වට කවුරුවත් විශ්වාස කරන්නෑ, නේ....ද පුතා ? " සරතගෙ ප්‍රශ්නෙට  ඉන්දිකයගෙ අම්මා උත්තර දුන්නෙ ඌව සාක්ෂියකට අර ගන්න ගමන්. මෙහෙ මිනිස්සු කතා කරන විදිහ හරිම ළෙන්ගතුයි. ඇඳලා පැදලා බොහොම ලයාන්විතව තමයි කතා කරන්නෙ. ඉන්දිකයලෑ අම්මත් එහෙමයි. බලන් ඉන්න ආසයි ඒ කතා කරන විදිහ.

"ඔව් අම්මා, මුන්ට කිව්වත් අන්තිමට හිනා වෙන එක තමා වෙන්නෙ" බටයකින් පූස් පූස් ගගා ලිපට පිබ පිබ හිටපු ඉන්දිකයා ඔළුව උස්සන ගමන් කිව්වෙ. අම්මලට හොරෙන් සිකරට් අරක්කු බිව්වට මූ අම්මලාට උදව් කරණ හොඳ දරුවෙක් ! මුගෙ මේ "අම්මා", "තාත්තා" කියලා කතා කරන එකට මමනම් හෙණ මනාපයි. අම්මේ තාත්තේ කියනවට වැඩිය ඒක හෙණ හෘද්ධයාංගමයි, ළෙන්ගතුයි, සමීපයි. මේ පැත්තේ හැමෝම වගේ එහෙම තමා ආමන්ත්‍රණය.

XXXXXXX

ඉන්දිකයව මට මුලින්ම හම්බෙන්නෙ මම කටුනායක කලාපෙ වැඩ කරපු කාලෙ. බදුල්ලෙ ඉඳලා රස්සාවකට කොළඹ ආපු මූ, උන්ගෙ අයියා රස්සාව කරපු තැනටම ඒ කියන්නෙ අපේ වැඩපළේ ප්‍රධාන ශාඛාවට සම්බන්ධ වුණා. ඊට ටික කාලෙකට පස්සෙ තමා මිනිහට කටුනායකට මාරුවක් හම්බෙන්නෙ. ඔය 1996, Excel එහෙම මුලින්ම අතපත ගාන්න ගත්තු කාලෙ. මම එක්සෙල් ෂීට් එකක් දිගෑරගෙන අනාථවෙලා හිටපු වෙලාවක මූ බලෙන්ම වගේ අහලා මට උදව් කරපු එක තමා අපේ හිතවත් කමේ ආරම්භය. මිනිහා ඩ්‍රාෆ්ට්මන්. චිත්‍ර එහෙම ආයෙ ලෙසටම තියනවා. ඔය ලේබල්, කැටලොග්, හෑන්ඩ්බුක් එහෙම ඩිසයින් කරන එක තමා මුගෙ ජොබ් එක. දවසක් පේන්ට් වලින් බොක්සර් බල්ලෙක්ව ඇන්දා නිකන් පණ පිහිටවලා.

කොළඹින් කටුනායකට මාරු වුණාම මිනිහාට පොඩි අවුලක් ආවා නවතින්න තැනක් ගැන. දෙතුන් තැනක්ම බැලුවට හරියට හිතට අල්ලලා තිබුණෙ නෑ වගේ තමා මතක. ඒ දවස්වල උදේ හවා කිරුලපන පුංචි අම්ම කෙනෙක්ගෙ ගෙදර ඉඳන් තමා මිනිහා වැඩට ආවෙ. ඒක හොඳ කට්ටක්. ඔය ගැන මාත් එක්ක කියපුවම තමා මම කිව්වෙ කැමතිනම් අපේ ගෙදර වරෙන්, හැබැයි තනි කාමර නෑ, හවුලෙ තමා ඉන්න වෙන්නෙ කියලා. ඊට පස්සෙ තමා ඉන්දිකයා අපේ ගෙදර නවතින්න සෙට් වුණේ. ඒ වෙනකොට ලොකු අම්මා නැතිවෙලා තිබුණ නිසා ලොකු අයියා ඒ කාමරේට ගිහින් ඉන්දිකයට එයා හිටපු ඇඳ වෙන්වුණා. ඒ වෙනුවෙන් මිනිහා මාස්පතා අම්මට ගානක් ගෙව්වා. ගෙවපු ගානට හරියන්න ඌ ගෙදර හිටියෙවත් කෑම ගත්තෙවත් නෑ කියලා මතකයි.

ඉන්දිකයා ඇවිල්ලා කා එක්ක වුණත් බොහොම ඉක්මනට කතාබහ කරලා හිතවත් වෙන එකා. අපේ දිහාට ඇවිත් වැඩි කාලයක් යනන් කලින් ඌව අපේ ගමේ නොදන්න කෙනෙක් නැතිවුණා. මීගපු පාරෙ ඉඳන් අපේ ගෙදරට තියෙන්නෙ මීටර් අට සීයයි. මම සාමාන්‍යයෙන් පයින් යනකොට ඔය දුර විනාඩි පහෙන්, වැඩිම වුණොත් දහයෙන් ඇදලා දානවා. මූට යනවා පැය එකහාමාරකට වැඩිය. ඔන්න හන්දියෙන් බස් එකෙන් බහිනවා. එතනම ඉන්නවා ත්‍රීවීල් බජාර් එක. "ආ... මචන්ලා කොහොමද ? උඹලා කෑවද ? අරවද ? මේවද ? අම්මලා සනීපෙන්ද ? .........? ... ? ... ? " ප්‍රශ්න ගොඩයි. සිගරට් තුනයි. ඊට පස්සෙ එතනින් ඇවිත් මීටර් දහක් යද්දි එනවා තව එකෙක්. "ආ මචන් කොහොමද ? .... ? ..... ? " සිගරට් එකයි. ඔහොම හැමෝගෙම සුව දුක් විචාරමින් එනකොට අඩුම පැය එකාමාරයි. පැය තුන හතර ගියපු දවස් නැත්තෙමත් නෑ. අනිත් එක දැන් මේක කියවන කාට හරි අපේ ගෙදර එන්න ඕනනම් එහෙම හන්දියට ඇවිල්ලා "සෙන්නලෑ ගෙදරට යන්නෙ කොහොමද ? " කියලා ඇහුවට වැඩක් වෙන්නෑ. උන් උඩ බිම බලනවා ඕන ඔට්ටුවක් ! (සෙන්නා කියලානම් ගෙදරින් ඇවිල්ලා ඇහුවත්, එහෙම එකෙක් නෑ කියනවා. හෙහ් හෙහ්) අහන්න ඕනා "ඉන්දික හිටපු ගෙදරට යන්නෙ කොහොමද ?' කියලා. ආන්න, ගෙදරට යන පාර ඇඳලම දෙයි. මිනිහා ඒ ආකාරයි.

ඒ ලෙවල් ඉවර වුණාට පස්සෙ එකටම වගේ හිටිය අපි පස් දෙනෙක් හිටියා. මම, දමියා, සරා, සම්පතා, පිලිපා. අපේ පුරුද්ද තමා ඉතින් හැන්දෑ කොරේට එක එකාගෙ ගෙවල් වලට ගිහින් කයිය ගහගෙන ඉන්න එක. ඒ වෙනකොට රස්සාවක් කළේ මමයි, දමියයි විතරද කොහෙද ! ඔය වගේ ඉතින් ඕකුන් සෙට් එක අපේ ගෙදරත් එනවා. ඇවිල්ලා ඔය කාමරේ රෑ වෙනකම් බොරු කියන එක තමා රැකියාව. අම්මටයි, නංගිලටයි හොඳ ගණන් ඉතින් මුන්ට තේ හදලා. සමහර එවුන් "ඇන්ටි මෝල්ටඩ් මිල්ක් එකක්" කියලා ඕඩරෙත් දාගෙනම තමා කාමරේට එන්නෙ. ඉන්දිකයා ආවා කියලා ඉතින් ඕකෙ වෙනසක් වුණේ නෑ. එහෙම වෙන්න හේතුවකුත් නෑනෙ. සිද්ධ වෙච්ච එකම වෙනස කට්ටිය එන වාර ගාන වැඩි වුණ එක තමා.

ඉන්දිකයා ඉතින් උන්ගෙ ගමේ විස්තරයි, අරවයි, මේවයි කිය කිය කට්ටියව ආනන්දයෙන් ප්‍රඥාවට අරන් ගිහින් තිබුණෙ. ඒවට ඌට මඩ නොවැදුණා එහෙමත් නෙමේ. සරා එහෙම මඩ ගහන්න දන්නෙම නැති එකා වෙච්චි. ඔය වගේ බොරු වැලක් අතරින් තමා අපිට ඉන්දිකයගෙන් නිට්ටළුවො ගැන මුල්වරට අහන්න ලැබුණෙ. ඊට කලින් අපි එහෙම ජාතියක් ගැන අහලා තිබුණෙම නැති නිසා මේක අපිට බොහොම උද්‍යෝගිමත් මාතෘකාවක් වුණා.

ඉස්සර ලංකාවෙ ඉඳලා තියනවලු සිරුරින් කුඩා, වනාශ්‍රිතව දිවි ගෙවූ නිට්ටළුවො හෙවත් නිත්තෑවො කියලා ජනවර්‍ගයක්. එක්තරා කාලයකදි මොවුන්ගේ ස්ත්‍රීන් ශීඝ්‍රයෙන් වඳවීම නිසා ඔවුන් වැදි ජනයාගෙ ස්ත්‍රීන්ව පැහැර ගෙන ඇවිල්ලා තමන්ගෙ අඹුවන් ලෙස පවර ගන්න පටන් ගත්තාලු. මේකට උරණ වෙච්ච වැද්දො නිට්ටළුවන්ව අල්ලලා ගල් ගුහාවක හිර කරලා ගිනි තියලා මරලා දැම්මලු. එතනින් ඔවුන් වඳ වුණා කියලා තමා කියන්නෙ. වැද්දන් හා නිට්ටළුවන් අතර කාලාන්තරයක් තිස්සෙ පැවතුන ගැටුමක් නිසා වැද්දන් ඔවුන්ට සංහාරය කළා කියලත් කියවෙනවා. තව කතාවක් තියනවා මොවුන් නිට්ටඹුව ප්‍රදේශයෙන් ස්ත්‍රීන්ව පැහැරගෙන ආපු බවකුත්. නිට්ටළුවන්ට අඹුවන් සපයපු නිසා නිට්ටඹුව උණා කියලත් කියනවලු. මොවුන් සිරුරින් කුඩා වුණත් දරුණු අර්‍ධ මානව කොටසක් කියලත් කියවෙනවා. ( මූලාශ්‍ර පහතින් දැක්වේ. )

ඔය වගේ කතාවක් ඉතින් හිත් නොගන්න හේතුවක් නෑනෙ. විශේෂයෙන්ම ඉන්දිකයා හොඳට ලුණු ඇබුල් දාලා කිව්වම. ඉන්දිකයා කියපු විදිහට මේ නිට්ටළුවො කියන ජාතිය උන්ගෙ පැත්තෙත් ඉඳලා තියනවා සහ දැනටත් ඉන්නවා. ඔවුන්ව එහෙන් මෙහෙන් දැකපු මිනිස්සු ඉන්න බව තමා අපිට දැනගන්න ලැබුණෙ. මේ කතාව ඇහුවට පස්සෙ අපි කට්ටිය ඒකමතිකවා තීරණය කළා ඉන්දිකයලෑ පැත්තෙ රවුමක් දාලා මේ ගැන හොයන්න. බොහොම අමාරුවෙන් රාත්‍රී බදුලු දුම් රියේ තෙරපිලා ඇවිල්ලා, එක්තාරා පාන්දරක අපි බණ්ඩාරවෙල හරහා ඇටම්පිටියට ගොඩ බහින්නෙ ඒ තීරණය මල්ඵල ගන්වමින්.

ඇටම්පිටිය ප්‍රදේශය, බෝගොඩ පාලම අවට කලාපය, දුන්හිද ඇල්ල ප්‍රදේශය අපේ නිරීක්ෂණයට අහුවෙන්නෙ ඊට පස්සෙ තමා. ඇත්තම කිව්වොත් නිට්ටළුවන් හෙවීම අපි නිකන් ගමනට අරමුණක් ලෙස තියා ගත්තා මිසක් ඒ වෙනුවෙන්ම බැහැලා කරපු ගවේෂණයක් නෙමෙයි මේක. ගමේ අයත් කිහිප දෙනෙක්ම අපේ සම්මුඛ සාකච්ඡා වලට හසු වුණාට ඒ අයටත් ඉන්දිකයා දන්නවට වැඩි යමක් කියන්න බැරි වුණා. පස්සෙ පස්සෙ ඒක බොහොම උදාසීන අරමුණක් වුණා විතරක් නෙමේ අපි ඒක අමතක කරලා දාලා ගමන රස විදින්න පටන් ගත්තා. ඉතින් අපිට හම්බුණ නිට්ටළුවෙක් නෑ කියන එක කියන්න ඕනා නෑ නෙ. අන්තිමට වුණේ ඉන්දිකයට නිට්ටළුවා කියලා කාර්ඩ් එකක් වැදිච්ච එක විතරයි.

ගාමිණී අයියා අපිත් එක්ක එකතු වුණේ අවසාන වශයෙන් අපි ඉන්දිකයලා ගෙට පහළ බෑවුමේ තියන කුඹුරු යායට එපිටින් තිබුණ කැලෑ රොද ගවේෂණය කරන්න ගිය ගමනට. මේකෙදිවත් අපිට නිට්ටළුවෙක් දකින්න ලැබෙයි කියලා අපි පැතුවා, බලාපොරොත්තු වුණා. යෝධ පුස්වැල් එහෙම තිබුණ, ඝන උඩු වියනක් තිබුණු අපූරු කැලයක් ඒක. වලි කුකුල්ලු එහෙම රංචු පිටින් හිටියා.

ගාමිණී අයියව ගමනට එකතු කරගත්තෙ මිනිහට මේ කැලේ ගැන හසළ දැනුමක් තිබුණ නිසා. ඉන්දික කිව්වෙනම් මිනිහා මේ කැලේ හැම බිම අගලක්ම දන්නවලු. එයාගෙ අපි එක සුවිශේෂත්වයක් දැක්කා. ඒ වම් අත මැණික් කටුවට පහළින් නැති කම. ඉන්දිකයා අපිට මේ ගැන කලින් යමක් කියලා තිබුණෙ නැති නිසා අපිට ලොකු කුතුහලයක් තිබුණෙ ඇයි මේ කියලා. ඒත් අහන්න බැරි නිසා හැමෝම ඒ ගැන සද්දෙ වහලා හිටියා. කොහොම හරි කැලේ කරක් ගහලා,  කරක් ගහලා පාන් කියා ගන්න බැරුව හිස් අතින්ම ගෙදර ආවට ඔළුව පිරිලා තිබුණෙ කුතුහලයෙන්. මහන්සිය නිසා හැමෝටම අමතක වෙලා තිබුණ ඒ කුතුහලය තමා සරා විසින් එදා උදේ හැමෝම ඉස්සරහා පිට කෙරුවෙ. ඌ එහෙම නොකළනම් ඒක වෙන එකෙක් කරන බව ඉර හඳ වගේ විශ්වාසයි.

XXXXXXX

"හරි හරි ඉතින් විශ්වාස කරනවද, නැද්ද බලන්න අගේ නොකර කියහන්කො" ඒ සම්පතයා.

"පොරට මචන් ඔය අපි ඊයෙ ගියපු කැලේ නිකන් ගෙදර වගේ. නිතරම ඕකෙ කරක් ගහන එක තමා මිනිහගෙ විනෝදාංශෙ. යනකොට අර ඊයෙත් අරන් ඇවිත් තිබුණ පොරව අරගෙන යන්න අමතක කරන්නෑ. දැක්කනෙ ඒකෙ මහතයි, මුවහතයි." මේ පොරව සාමාන්‍යයෙන් ගෙවල්වල තියන දර පළන ජාතියෙ එකක් නෙමේ. කෙටි මිටක් තියන, තලේ අග හඳ පළුව වගේ පළල ඒ වගේම කෙස් ගහක් වැටුණත් කැපිලා යන තරම් තියුණු මුවහතක් තිබුණ පොරවක්.

"ගමේ කාට හරි බේත් පැළෑටියක් එහෙම හොයාගන්න ඕනා වුණොත් ගාමිණී අයියට කියන එක විතරයි තියෙන්නෙ, මිනිහා සුටුස් ගාලා ඔය කැලේට රිංගල හොයාගෙන එනවා. එදත් ඔය වගේ කාට හරි බේත් පැළෑටි වගයක් හොයන්න තමා ගිහින් තිබුණෙ. පෙරළිච්ච ගහක කඳක් යට ඒ පැළෑටි වගයක් තියනවා දැකලා මිනිහා ගලව ගන්න අත දැම්මා විතරලු මොකෙක් හරි හපනවා වගේ දැනුණලු, ඒ එක්කම දරුණු වේදානාවක් දැනුණලු."

"ඉතින්හ්.. ! සර්පයෙක්ද ? "

"ඔව්, මිනිහා එතකොටම දැක්කලු සර සර ගගා කොළ පොඩි කරන් ඇදෙන පොළඟව."

"නෑහ්හ්.. ඉතින් ඉතින්"

"මිනිහා ඉස්සෙල්ලම කරලා තියෙන්නෙ අර පොරවෙන් පොළඟව දෙකට වෙන් වෙන්න කපපු එක."

"ඊට පස්සෙ ? "

"ඊට පස්සෙ මිනිහා කරපු දේ කිව්වට උඹලා විශ්වාස කරන්නෑ. ඒක හින්දා නොකිය ඉන්නම්" පොඩ්ඩක් අගය කරපු ඉන්දිකයා  නිවීගෙන යන ලිපට ආයෙත් පූස් පූස් ගාල පිඹින්න ගත්තා.

"අඩේ අඩේ ආන්න ඉතින් අගය කරනවා.. හරි හරි කියපන් අපි විශ්වාස කරනවා."

පිඹිල්ල ඉවර කරලා ඔළුව උස්සලා ටිකක් හොල්මන් වෙලා වගේ බලන් හිටියෙ ලිපට පිම්බම එන කැරකැවිල්ල යනකම් වෙන්නෝනා. "මිනිහා ඊළඟට කළේ අර වැටිලා තිබුණ කඳ උඩින් පොළඟා දෂ්ට කරපු වම් අත තියලා, මැණික් කටුව ගාවින් කපලා යන්න පොරවෙන් කොටපු එකයි" කියලා කියනකොටම අපි ඔක්කොම කටවල් ඇරගෙන ටික වෙලාවක් තුෂ්ණිම්භූත වෙලා බලන් හිටියා. ඊට පස්සෙ කට්ටියම එක පාරම වගේ තමයි බකස් ගාලා හිනාව පිට කළේ.

"අනේ පලහ් පලහ්..යන්න.. උදේ පාන්දර බේගල් ඇද නොබා.. හෙහ් හෙහ් හෙහ් .. මේ බලපල්ලකො මැණික් කටුව ගාවින් කපලා යන්න කෙටුවලු. හෙහ් හෙහ්.. " ඒ සරතා.

'ඕක තමයි තොපිලට මම කලින්ම කිව්වෙ." ඔන්න දැන් ඉන්දිකයට මළ පැනලා..

"නෑ පුතාල ඒක ඇත්ත... ඒ ළමයා එහෙම කරලා තියෙනවා. නැත්නම් කැලෙන් එළියට එන්නත් කලින්ම, මැරෙනවා." කියලා ඉන්දිකයලෑ අම්මා කිව්වම තමා ආයෙත් හිනා වෙවී හිටපු අපේ කටවල් ඇරුණෙ. ඉන්දිකයලෑ අම්මා කලින්ම කවුරුවත් විශ්වාස කරන්නෑ කියලා කියපු එක ඒ ඩිංගට අමතක වෙච්ච හැටි.

"නෑ....හ්.... මිනිහා අදහන්න වටින පොරක්නෙ." අපි හැමෝම වගේ එහෙම හිතුවා සිකුරුයි.


XXXXXXX


මොකද හිතන්නෙ ? මේක ගජබින්නාලංකාරයේ ලියවෙන්න ඕනා කතාවක්ද නැත්නම් මේ ජාතියෙ මිනිස්සු මේ ලෝකෙ ඉන්න පුළුවන්ද ? කතාවෙ අනිත් කොටස කියවන්න කලින් ඒ ගැන ඔබේ අදහස කියලා යන්න අමතක කරන්න එපා.

අනිත් කොටස මෙතනින් කියවන්න - දොරුව පරාදයි

මූලාශ්‍ර;
1. ඉන්දික ජයසිංහ

ලියුවේ :
~~ සෙන්නා / 15.08.2013