Pages

බයිසි මොටෝ එක...

2013 වෙසක් මස 11වනදා



සූව දශකයේ මුල ඇතිවූ ඒ දීපව්‍යාප්ත වැඩවර්ජන රැල්ල, තාත්තාගේත්, අම්මාගෙත් රැකියාවන් අහිමි කොට දමා තිබීම නිසා දරිද්‍රතාවය ඉදිරි දොරටුවට තට්ටු දමමින් තිබුණි. වසරකට ආසන්න අති දුෂ්කර කාලයකට පසු තාත්තාට රැකියාවක් ලැබුණද, එය දරු පස් දෙනෙකුගෙන් යුතු පවුලක කුදු මහත් කටයුතු වෙනුවෙන් කිසිසේත්ම ප්‍රමාණවත් නොවුණේය. කොරේ පිටට මරේ යැයි කියමින්, තාත්තාගේ මතට ඇබ්බැහිවීම තත්ත්වය තව තවත් නරක අතට හරවන බව ඔහුට හැර අන් සියලු දෙනාටම වැටහුණු කාරණයකි. ඔහු පියවි සිහියෙන් සිටින විට, නන්දා මාලිණියගේ "බුදු තාත්තෙ බොන්න එපා" ගීතය ඔහුට ඇසෙන්නට වාදනය කිරීමේ සිට බීමට ගෙනවිත් සඟවා තිබූ මත් පැන් රහසින් විසි කරදැමීම දක්වාවූ නා නා ප්‍රකාර ක්‍රමෝපායන් අත්හදා බැලුවද, ඒ එකක්වත් සාර්ථක නොවුණි. ඒවායින් ලද එකම ප්‍රතිඵලය ඔහු ප්‍රකෝප වීම පමණය. අවසානයේදී, පවුලේ සාමය වෙනුවෙන්, වෙන දෙයක් වෙද්දෙන් යැයි සිතා ඔහුට රිස්සක් කරගැනීමට හරිනවා මිස වෙන විකල්පයක් ඉතිරිව නොතිබුණි.

අති බහුතර ලාංකීය කුටුම්බයන් සංඛ්‍යාවක් වෙතින් දික්කසාදය නම්වූ ඒ අමිහිරි අත්දැකීම ඉවත් කොට තැබීමට නිහඬ එහෙත් අති විශාල සේවයක් කළ ඒ අපූර්ව ආප්තෝපදේශය වූ "බැඳගත්තු බෙරේ ගහන්න එපැයි" යන්නට තවත් එක් නිදර්ශනයක් එකතු කරමින්, කඩා වැටෙමින් පැවති පවුලේ ආර්ථිකයේ සැලකිය යුතු බරක් සිය කර මතට ගැනීමට ධෛර්යවන්ත කාන්තාවක් වූ අම්මා ඉදිරිපත් වූවාය. කුඩා කළ සිටම දරිද්‍රතාවයේ විවිධ හැලහැප්පීම් තුළින් ලද පන්නරය මෙයට මුල් වූවා නිසැකය.

කුකුළාටත් පෙර අවදිව, කුස්සියේ ලිප ළඟ ගිනි රස්නයට දැවෙමින්, දෑත් රිදුම් දෙනතුරු ඉඳි ආප්ප මිරිකා හෝටලයකට හා අසල්වැසි නිවෙස් වලට විකිණීම වැටෙමින් පැවති ආර්ථිකය නගා සිටුවීමට ඇය ගත් එක පියවරකි. එපමණකින් නොනැවතී, ගල්ලැහැ පන් උපයෝගී කරගෙන වියනු ලබන, අප විසින් "පන් කාපර්ට්" යැයි හැඳිවූ බුමුතුරුණු විශේෂය විවීමද දිවා කාලයේ ඇය අතින් සිදු කෙරුණාය. කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ ආයතනයකට අනුබද්ධව ඔවුන්ගෙන් ලද ඇණවුම් මත මෙම කාර්යය සිදු වූ අතර ප්‍රධානම ගැණුම් කරුවා "ලක්සල" යි. මෙය කුඩා අපටද අමතර ආදායමක් උපයාගත හැකි කාර්‍යයක් විය. බුමුතුරුණු විවීම උදෙසා මුලින්ම ගල්ලැහැ පන් උපයෝගී කොටගෙන, කාන්තාවන් කොණ්ඩා ගොතන ආකාරයෙන් පටියක් ගොතා ගත යුතුය. අප විසින් මෙය "පටි ගෙතීම" යනුවෙන් හැඳින්වීමු. අම්මා කෙතෙක් ඇවිටිලි කළද සෙල්ලම් වයසේ සිටි අප හට එක තැනකට වී මෙම කාර්‍යයෙහි යෙදීම මරනවා වැනි විය. බැරිම තැන අම්මගෙන් ඒ සඳහා පොඩි උත්තේජනයක් ලැබුණි. ගොතනු ලබන සෑම පටි යාරයකටම ශත දහයක් ගෙවීමට ඇය පොරොන්දු වූවාය. මෙය, තත්ත්වයෙහි සැලකිය යුතු වෙනසක් ඇතිකරවීමට සමත් විය. එයින් පසු අප විසින් උනන්දුවෙන් පටි ගෙතීමටත්, ගොතන ලද පටි මැන පොතක සඳහන් කරගැනීමටත් පුරුදු වූවෙමු. ඇණවුමක් ලක්සලට දැමීමෙන් පසු ලැබෙන මුදලින් පොරොන්දු ප්‍රකාර අපගේ මුදල් ගෙවීමට අම්මා වගබලාගත්තාය. කාලීනව මතු වෙන එක් එක් අවශ්‍යතා වෙනුවෙන් මෙම මුදල් වැය කිරීම අපගේ සිරිත විය.

මෙයට අමතරව බිත්තර උදෙසා ඇති කරවනු ලැබූ කුකුළන් රංචුවක්ද වූහ.. බිත්තර විකිණීමෙන් ලැබෙන ආදායමද පවුලේ දියුණුව වෙනුවෙන්ම වැය කෙරිණි. අම්මාට සහයක් වෙමින් ලොකු අම්මාද කොහු ලණු කැරලි ගොතා කඩයට දැමීමෙන් යම් අදායමක් උපයා දීමට සමත්වූවාය.

මේ සියල්ල කළද, දරු පස්දෙනෙකුගේ අධ්‍යාපන, සෞඛ්‍යය වියදම් දරමින්, වැඩිවෙන ජීවන වියදමට මුහුණ දීම ඔවුනට අපහසු කාර්‍යක් වූහ.. තාත්තා සිය මුළු අදායමම ගෙදර වෙනුවෙන් වැය කළේනම් යම් තරමක සහනයක් ලැබිය හැකි වුවද, එසේ කළත් සම්පූර්ණ වශයෙන්ම වියදම් පියවා ගැනීමට හැකියාවක් නොතිබුණි. තාත්තාගේත්, අම්මාගේත් එකඟත්වයෙන් නිවසේ ඉදිරිපස කාමරය කුලියට දීම, නිවසේ ආදායම් වැඩි කරගැනීම උදෙසා ගනු ලැබූ අලුත්ම ක්‍රියාමාර්‍ගය විය. එයින් වසර පහක් හෝ හයකට පසුව සිදුවන ප්‍රස්තුත කතාවට පසුබිම සකසනුයේ මෙම තීරණයයි.

මුලින්ම කාමරය එක්තරා යුවලකට කුලියට දෙනු ලැබූ අතර ඔවුන් වැඩි කල් එහි නොරැදුනහ. එයින් පසුව එය, කිසියම් සංවර්ධන ව්‍යාපෘතියක සේවය කළ තරුණයක් දෙදෙනෙකුට වාසභවන විය. කුරුණෑගල සිට පැමිණි මොවුන් දෙදෙනා වැඩි කල් නොයවාම අප හා මිත්‍රාශීලී වූහ. ඔවුන් අතර වූ වයස් පරතරය නිසාම අප විසින් "ලොකු අංකල්" හා "පොඩි අංකල්" වශයෙන් හැඳින්වූ මොවුන් දෙදෙනා, ටික කලෙකින්ම අප නිවසේ සාමාජිකයන් වන තරමටම අප හා කුළුපග වූහ.

"ලොකු අංකල්" නැමැත්තා බොහෝ ඇසූ පිරූ, දැනුම් තේරුම් ඇති, පරිණත අයෙක් බව නිතැතින්ම විද්‍යාමාන විය. ඔහුගේ ඉංග්‍රීසි දැනුමද ඉතා හොඳ තත්ත්වයේ වූ අතර අප හට එය නොමිලේ බෙදා දීමට තරම් ඔහු නිර්ලෝභී වූවේය. "පොඩි අංකල්" නැමැත්තා මදක් විනෝදශීලී තාරුණ්‍යයේ පසුවූ අයෙකි.

~~~~~

යතුරු පැදි නොහොත් මෝටසයිකල් ! ඒ වනවිට අසූව දශකයේ අග භාගයේ දිවි සරමින්, ගැටවර වියට පිය මනිමින් සිටි අප හටද, සෑම පිරිමි ළමයෙකුට මෙන්ම මෙම රෝගය තදින්ම වැළඳී තිබුණි. යතුරු පැදියක් හිමි කරගැනීම හීනයක්ම බැවින් අඩුම තරමින් එකක් පැදීමේ ආශාවවත් සන්සිදුවා ගත යුතුය. තාත්තා සතු එකම වාහනය වූ, එකල අප විසින් "ෆොනෙක්ස්" ලෙසින් හැඳින්වූ "ෆීනික්ස්" බයිසිකලය, ඒ වන විට අප විසින් එපා වෙනතරමටම පැද තිබුණෙමු. පාපැදියක් පැදිය හැකි සියලුම ක්‍රම ඒ වනවිට අත්හදාබලා සුදුසුකම් සපුරා සිටියහ.

පැවති තත්ත්වය හමුවේ තාත්තාට යතුරු පැදියක් මිලදී ගන්නයැයි ඉල්ලා සිටිම හාස්‍යයට කරුණක් බව තේරෙන තරමට අප මෝරා සිටියෙමු. එබැවින් කෙදිනකවත් විහිළුවක් ලෙසවත් එවැනි ඉල්ලීමක් සිදු වූ බවට මතකයක් නොමැත.

මාගේ මෝටර් සයිකල් උමතුව තීවෘර වීමට බලපෑ තවත් ප්‍රධානම හේතුවක්නම් පන්තියේ මිතුරකු විසින් සිය පියා සතුවූ "සුපර්කබ්" රථයෙන් එහෙ මෙහෙ සැරි සැරීමය. නෙක නෙක සෙල්ලම් පෑමය. මට මෙන්ම අයියාටත් මෙවැනිම හේතුන් බලපෑ බවට නොඅනුමානය. හඳ ඉල්ලා හඬා වැටෙන පුංචි එවුන් එය ලබාගත නොහැකි බව අවබෝධවූ පසු, සිය ආශාව යටපත් කොටගෙන නිහඬ වන්නේ යම්සේද, අපගේ යතුරුපැදි ආශාවද සිත්වලටම පමණක් සීමා කොට සඟවා තබා ගෙන නිහඬ වන ලෙස දරිද්‍රතාවය විසින් සිය තර්ජනාංගුලිය විදහා අපට දන්වා සිටියේය. එහෙත් ඒ ආශාව යතුරුපැදි  වල පින්තූර එකතු කිරීම වැනි අහිංසක ප්‍රයෝගයන්ගෙන් සපුරා ගැනීම වැළැක්වීමට දරිද්‍රතාවයද අසමත් වූවේය.

පොඩි අංකල් හදිසියේම මෙන් ගමේ යැමක් සිදුවන්නේ මෙවන් වාතාවරණයක් යටතේදීය. පසුදින සුදු පැහැති දුම් දමමින් පැමිණ හදිසියේම අපගේ නිවස ඉදිරිපිට නතරකළ යතුරු පැදියේ ධාවකයා කවුරුද යන්න දැනගැනීමට මොහොතක් බලා සිටීමට සිදුවූහ. ආරක්ෂිත හිස්වැස්ම ඉවත් කළ පසු ඒ පොඩි අංකල් බව හඳුනා ගත් සැණින්, අයියාත් මාත් එතනට දිවගියේ යන්ත්‍රානුසාරයෙනි. අපගේ උනන්දුව අපටද නොදැනුවත්ව අපගේ දෙපා ක්‍රියාත්මක කොට තිබුණි. යතුරුපැදිය වටා දෙතුන් විටක් කැරකී අප එය අතගා බලන තෙක්ද පොඩි අංකල් විසින් තවමත් එහිම වාඩිවී සිටියේය.

"කොහොමද ? හොඳයිද ? " ඔහු විසින් සිනාසී ඇසීය.

"කොහෙන්ද පොඩි අංකල් මේ ? ඔයාගෙද"

"නැතුව ඉතින් වෙන කාගෙවත් ඒවා අපට දෙනවයැ"

දැන් අපගේ සවන ඉන්ද්‍රිය යමක් අපට අවභෝධකරවමින් සිටී. දීර්ඝ කාලයක් සඟවා තබාගෙන සිටි ආශාවක් ඉෂ්ටකර ගැනීම මගක් පැදී එන බවට ඉවෙන් මෙන් අවභෝධවෙමින් තිබුණි.

"ඒ කියන්නෙ පොඩි අංකල් ඉස්සරහට වැඩට යන්නෙ මේකෙන්ද"

"හ්ම්ම්"

මම අයියා දෙසත්, ඔහු මා දෙසත් බැලුවේ නොසිතාමය. අපගේ හිත් ප්‍රීතියෙන් පුරවාලීමට ඔහුගේ උගුරෙන් නිකුත් වූ එම හඬට හැකි විය. පොඩි අංකල් යතුරුපැදියෙන් බැස ගිය පසුද අප ඒ වටා කරකැවෙමින්, එය අතාගාමින් සිටියේ එම ආශාව නිසාමය. එයින් නිකුත්වූ පැට්ට්‍රල් සුවඳ ඒ මොහොතේ මට මෙලොවෙහි වූ හොඳම සුවඳ විය. එහි ඇක්සිලේටරය කරකවා බැලීම, ගියර් ලිවර් එක පාගා ගියර් කඩා බැලීම, ස්විච් එහෙට මෙහෙට කොට බැලීම වැනි මූලික පරීක්ෂණයන් එයින් පසු සිදු කෙරිණි. යමහා මේට් ෆිෆ්ටි වර්ගයේ යතුරු පැදියක් වූ එය, ඉදිරියෙන් සුදු පැහැති ප්ලාස්ටික් ආවරණයකින් වැසී තිබුණු, ඉදිරිපසින් කකුල දමා ගොඩ විය හැකි, පෙට්ට්‍රල් ටැංකිය සීට් එක යට පිහිටා තිබූ වර්ගයේ එකකි. මාගේ මිතුරා සතුවූ සුපර්කබ් එකෙහි හා මෙහි වෙනසක් නොවූ තරම්ය. හොන්ඩා සුපර්කබ් එක පරයා යමහා මේට් ෆිෆ්ටිය ඉදිරියෙන් සිටින බව එම මොහොතේම මම නිගමනය කළෙමි. එය හුදෙක්ම, මුකුත්ම නැතිව තිබෙනවාට වඩා ලැබී තිබෙන දේ අගය කළ යුතු නිසාම මිසක, එම යතුරු පැදි දෙක පිළිබඳ කළ විධිමත් සංසන්දනයකින් පසු කළ නිගමනයක් නොවුණේය. ඇත්තෙන්ම එය අලුත්ම සතුරු පැදියක්ද නොවුණි. එහෙත් අපට බලපෑමක් කිරීමට එම සාධකයට කිසිඳු හැකියාවක් නොතිබුණි.

"ඕකෙ ඇක්සිලේටරේ නිකන් කරකවන්න එපා පුතාලා, කාබලේටරේට තෙල් යනවා " යි පොඩි අංකල් ජනේලයෙන් ඔළුව දමා කෑ ගැසුවේ අපගේ මෙම පරීක්ෂණය අතරතුරය.

දැන් මාගේ එකම අභිලාෂය වූයේ මෙය වටයක් පැද බැලීමයි. අයියාත් එයම අදහස් කළ බවට මොනවද කැට ! එහෙත් පොඩි අංකල් විසින් කවදා අපට මෙය පදින්න දේවිද යන්න ගැටළුවක්ම විය. මේ උණුසුමේම එම ඉල්ලීම ඉදිරිපත් කිරීමට තරම් අප අඥානද නොවූවෙමු. තව ටිකක් ඉවසීමට එකි නෙකා කතිකා නොකරම අප විසින් එකඟ වූ සෙයකි.

එයින් පසු කාලය දින සති වශයෙන් ගෙවී ගියේය. කල් යල් බලා යතුරු පැදිය පැදීමට පොඩි අංකල් වෙත කෙරුණු ඉල්ලීම් කිහිපයක්ද බාලගිරි දෝශයට හසුව පසු පසට තල්ලුවී ගිහහ. එහෙත්, යතුරු පැදිය පිස දැමීම, රාත්‍රියට ගෙට ගැනීම හා උදෑසනට එළියට දැමීම වැනි කටයුතු අයියාගේත්, මගේත් දායකත්වයෙන් නොකඩවා සිදු කෙරුණේ කවදා හෝ අවස්ථාවක් ලැබේයැයි යන බලාපොරොත්තුවේ බීජය සිත්හී දරාගෙනය. පොඩි අංකල් විසින් දිනපතාම වැඩට යාමට ලක ලෑස්තී වී පැමිණෙන විට යතුරු පැදිය සූදානම්ව මිදුලේ නතරව තිබුණේ එහි ආනුභාවයෙනි.

නිරන්තර ඇවිටිලි ගෑමෙහි ප්‍රතිඵලයක් ලෙස එක් ඉරිදා දිනක පොඩි අංකල් විසින් යතුරු පැදිය පැද්දවීමට එකඟ වූවේය. ඔහු විසින් පසු පස අසුනේ වාඩි වී අප හට මාරුවෙන් මාරුවට යතුරු පදිය පැදගෙන යාමට ඉඩ ලබා දුන්නේය. පාපැදිය පැදීමෙහි වූ පුරුද්ද නිසාම මෙය කෙළින් රැගෙන යාමේ කලාව හසු කර ගැනීමට අපට මහ වේලාවක් ගත නොවුණි. මෙම අනර්ඝ අවස්ථාව ඉතා කෙටි කාලයකට සීමා කෙරුණේ තෙල් අවසන් වෙමින් පවතින බව පොඩි අංකල් විසින් දැනුම් දීම නිසාය. "පස්සෙ දවසක ආයෙ බැරියෑ" යි යන්නෙන් නැවතත් දවසක මෙලෙසින්ම පද්දවන බවට පොරොන්දුවක්ද ලැබුණි.

මිදුලෙහි යතුරු පැදිය නතර කෙරුණු පසු පොඩි අංකල් විසින් යතුරද රැගෙන ඉවත් විය. එහෙත් අප දෙදෙනා තවමත් යතුරුපැදිය අසල දැවටෙමින් සිටියේ අසංතෘප්ත ආශාවෙන්ය. අයියා තවමත් යතුරු පැදිය මත නැග සිටියේ එයින් බැසීමට අකමැති බවක් දක්වමිනි.

"ලොකු මල්ලී ඔයා ටිකක් තල්ලු කරනවද ? " යි එක වරම ඔහු මගෙන් ඇසීය. දෙවරක් නොසිතාම මමද ඔහු කී ලෙස කළෙමි. මා විසින් තල්ලු කරණ විට ඔහු යතුරු පැදිය තුලනය කරගනිමින් ඉදිරියට මෙහෙයවීය. අප විසින් ගේ ඉදිරිපස සුළු ඉඩෙහි ටික වේලාවක් තල්ලු කිරීමෙන් අනතුරුව ඉදිරි පස වැලි පාරට ප්‍රවිෂ්ට වූවෙමු. එවිටම වාගේ පොඩි අංකල්ගෙන් නිකුත් වූ "බලාගෙන.. පෙරළන්න එහෙම එපා" යි යන විධානය එම ක්‍රියාවට ඔහු අකමැති නොමැති බව අප හට දැනුම් දුන්නේය. මෙලෙස ඉඩදීමෙන්, අපගේ කන්කරච්චලයෙන් මිදී, ඔහුගේ සාක්කුවට හා යතුරු පැදිය යන දෙකටම අඩුම අවාසියක් වන අයුරින් ගැටලුව මගහැර යා හැකියයි ඔහු සිතුවා වන්නට ඇත.

~~~~~

සුපුරුදු පරිදි අලුයම දෙකට පමණ අම්මා විසින් කූද්දනු ලැබීමෙන් එදිනද මම අවදි වුණෙමි. ඒ වන විටත් අයියා පාඩම් කරමින් සිටියේය. පැදුරෙන් නැගිට දැසින්ම නිදි ගැට කඩමින් අම්මා පස්සේ වැටෙමින් කුස්සියට ගමන් කොට කුස්සියෙහි වූ වේවැල් කැඩී ගිය පුටුවට බර වුණෙමි. අම්මා විසින් ලහි ලහියේ ලිප ගිනි මොලවා, කේතලය ලිප තබා, ඉඳි ආප්ප තැම්බීමට අවැසි කටයුතු සම්පාදනය කරන විටත් මා පුටුව මතට වී, පුටුවෙහි ඉදිරි පස අඬු දෙක හරහට ඉහළින් සවි කර තිබූ ලීය මත කකුල් දෙක තබා ගැනීම නිසා උඩට එසවෙන දණිස් දෙක අතර නිකට රුවාගෙන, අත්දෙක කකුල් වටා යවා දණහිසට පහලින් බැදගෙන තව මොහොතක් හෝ වකුටු වී නිදා ගැනීමට උත්සහ කරමින් සිටියෙමි. මා මෙසේ සිටින විට කොහේදෝ සිට එන කිටියාද මා සහ පුටු ඇන්ද අතර වූ හිස් ඉඩට ගුලි වනුයේ උණුසුමක් සොයමින් විය යුතුය. මමද උගේ උණුසුමට ප්‍රිය කළ බැවින් ඌට සිත්සේ සිටීමට ඉඩ හරිමි. මෙය සෑමදාම සිදුවන නිශ්චිතව පෙලගැස්වූ දෛනික ක්‍රියාකාරමකින් කොටසකි.

අම්මා විසින් සාදා දෙන තේ එක පානය කරන තෙක් නිදි කිරමින් සිටින මම, එයින් පසු ටිකෙන් ටික ක්‍රියාශීලී වීම අරඹමි. මින් පෙර අම්මාට සහය දීමේ වගකීමට උරදී සිටියේ අයියා වුවද, ඔහු විසින් සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාඩම් කිරීම ඇරබීමත් සමඟම එම වගකීම මා වෙතට පැවරුණි. රාත්‍රී එක දෙක පමණ වන තුරු පාඩම් කරණ අයියා සාමාන්‍යයෙන් නින්දට වන්නේ අප අවදිවූ පසුවය.

අලුයම පවතින මෙම ගැඹුරු නිහඬතාවයට මම කවදත් අතිශය ප්‍රිය කළෙමි. තේ එක බීමෙන් පසුවද දණහිස් තුළ නිකට රුවා මා එළියෙන් එන ශබ්ද වලට සවන් දෙමින් ඒවා හඳුනා ගැනීමට උත්සහ දැරුවෙමි. එවිට, වවුලෙකුගේ තටු සලා ඉගිල යෑමක්, බල්ලකු කන්පට ගැසීමක්, ඇතින් ඇසෙන කුකුළකුගේ හැඬලීමක් ආදී වශයෙන් පැහැදිලිව හඳුනාගත හැකි හඬවල් කිහිපයක් පමණක් ශ්‍රවණය කළ හැකිවේ. බෝධිසත්වයා ප්‍රමුඛ අපගේ කුකුළු නඩයද තවමත් සැප නින්දේය. අප උන්ටත් කලින් අවදිව සිටියෙමු.

ඉඳි ආප්ප සඳහා පොල් ගෙඩි හතරක පොල් ගා, සම්බෝල සෑදීම මාගේ මෙම අවදි වීමේ මුඛ්‍ය පරමාර්ථයයි. ඒ සඳහා මා විසින් කලින් දින පොල් ගෙඩි හතරක් ලෙලි ගසා, කටුව පැදෙන තරමට පිහියකින් සූරා සූදානම් කොට තැබීම සුපුරුදු චර්යාවයි. පොල්ගෙඩි හතරක් ගා සම්බෝල සාදා අවසන් කිරීමට පැය දෙකකට ආසන්න කාලයක් ගතවේ. එයින් පසු කළ යුතු විශේෂ කාර්යයක් නොවුණෙන් පොතක පතක වැඩක් කර ගැනීමට මම ඉතිරි කාලය ගත කරමි. මේ, එසමයෙහි අපගේ දිනය ඇරඹුණු සාමාන්‍ය පිළිවෙතයි.

"ලොකු මල්ලී පොඩ්ඩක් එන්නකො" උදෑසනම නැවත අවදිවී සිටි අයියා, සාලයේ සිට බෙරිහන් දෙන විට මා කුමක්දෝ සටහනක් ලියමින් සිටියෙමි. මා සාලයට යන විටත් ඔහු පොඩි අංකල්ගේ යතුරු පැදියට ගොඩවී ප්‍රධාන රඳවනය නිදහස් කරගැනීමට යතුරු පැදිය ඉස්සරහට පද්දවමින් සිටියේය. ඔහු අදහස් කළ දේ ඉවෙන් මෙන් හඳුනා ගත් මා, වහා ඉදිරිපත් වී ඔහුට සහය දීමෙන් යතුරු පැදිය ප්‍රධාන රඳවනයෙන් නිදහස් කොටගෙන සම්පූර්ණ බරම එහි රෝද මතට හා, අයියාගේ දෙපා මතට ගැනීමට සමත් වූවෙමි.. ඉන්පසු නිවසෙහි ඉදිරිපස දොරටුව විවෘත්ත කොටගෙන යතුරු පැදිය මිදුලට ගන්නා විට කළුවරවත් පහවී නොතිබුණි.

එයින් පසු අප විසින් සැලකිය යුතු වේලාවක් එකිනෙකා මාරුවෙන් තල්ලු දමමින් යතුරු පැදිය පදින ලද්දෙමු. එයට පැදීමක් යැයි කිව හැකිදැයි නොතේරෙන නමුදු, කෙසේ වෙතත් තුලිතව යතුරු පැදියක් ඉදිරියට ගෙන යාමට අප තුළ වූ ආශාව යම් පමණකින් හෝ සංතෘප්ත කොට ගැනීමට මෙය ඉවහල් විය. එදින මෙම ක්‍රියාව නිවස ඉදිරි පස වූ මීටර් පනහක් පමණ වූ වැලි පාරෙහි ඔබ මොබ සැරි සැරීමකට පමණක් සීමා විය.

දෙවෙනි දවසේදී තවත් පියවරක් ඉදිරියට තබමින්, නිවස ඉදිරිපස වූ වැලිපාරෙන් වමට හැරී තාර පාර වෙත ගමන් කරනා වැලිපාරෙහිද යතුරු පැදිය තල්ලු කරමින් ඉහළ පහළ ගමන් කළෙමු. තෙවෙනි සිව්වෙනි ආදී වශයෙන් ඉදිරියට පැමිණි දිනයන්හීදී ක්‍රමක්‍රමයෙන් ඉදිරියට ගමන් කොට, තාර පාරෙහිද සැලකිය යුතු දුරක් ගමන් කළෙමු. එයින් පසු මෙය, පාරෙහි ගමන් කරනා අප අසල් වැසියනට අතිශය සාමාන්‍යය දසුනක් වෙන තරමටම අප විසින් දෛනිකව සිදු කරණ ලද කටයුත්තක් බවට පත් විය. ආශාව කෙතරම්ද යත් අප හට එය අප්‍රිය වන ලකුණකුදු දක්නට නොවුණි.

ඔය අතර වාරයන්හීදී අප විසින් යතුරු පැදිය පණගන්වා ගැනීම උදෙසා දන්නා සියලු උත්සහයන් දැරූවද අපගේ බලාපොරොත්තු කඩවෙමින් ඒ එකක්වත් සාර්ථක නොවුනි. තල්ලු කරමින් යනවිට ගියර් එකකට දැමීමෙන් යතුරු පැදිය පණ ගැනීමට උත්සහ දරණ බව අප විසින් සිදු කරණ ලද අනර්ඝ සොයා ගැනීමක් විය. එහෙත්, යතුරු පැදියක් පණ ගන්නා මුල්ම අවස්ථාවේදී ඇතිවෙන ශබ්ධය පමණක් ඇතිවී ඒ සමඟම බුසු බුසු හඬක් නගමින් මලානිකව වියැකී යන්නේ එම ශබ්ධයට සමගාමිව උච්චාවචනය වන අපගේ බලාපොරොත්තුද සමගිනි. කික් කිරීම මගින්ද පණ ගන්වා ගැනීමට උත්සහා දැරුවේ මෙලොව පවතින, කිසිසේත්ම සිදු නොවෙතැයි අප විශ්වාස කරණා දෑ හදිසියේම සිදුවීම යන සංසිධිය මතවූ අල්ප බලාපොරොත්තුවකින් මිස යතුර නැතිව කික් කිරීම නිශ්ප්‍රයෝජන දෙයක් බව නොදැන නොවේ.

කටයුතු මෙසේ සිදුවෙමින් පවතින විට, දිනක් සවස අයියා විසින් මාහට පෙන්වූයේ සතුට, බලාපොරොත්තුව ඉහල නංවන දෙයකි.

"මෝටර් බයික් යතුරක් නේද ? කොහෙන්ද ?"

"මට යාළුවෙක් දුන්නෙ, අපි බලමු මේකෙන්" ඒ අයියාගේ යෝජනාවයි.

"හරි යයිද ? " යි මා ඇසුවේ ආවේනික යතුරකින් මිස සෑම එකකින්ම පණ ගැන්විය නොහැකි බව මා දැන සිටි නිසා වෙමි.

"බලමු, මිනිහානම් කිව්වෙ යතුරු පරණ වුනාම ඕන එකකින් ස්ටාර්ට් කරන්න පුළුවන් කියලා. අනික, මේකත් මේට් ෆිෆ්ටියකම එකක්."

එම සතර කන් මන්ත්‍රනයෙන් පසු හෙට නම්වූ දවස උදාවෙන තෙක් මා සිටියේ නොයිවසිල්ලෙනි. එදින රාත්‍රියේ මා හට හරිහමන් නින්දක් නොවූ අතර අළුයම අම්මා අවදි කිරීමටත් පෙර මා නැගී සිටියෙමි.. වෙනදා උදෑසනට අවදි වූ විට පවතින අපහසුතා කිසිවක් එදින නොවුනි. පුටුව මත වකුටු වී විදින අලස සුවය විදීමට එදින මා හට ඉස්පාසුවක් හෝ උවමනාවක් නොතිබුනි. කිටියාටද එදා උණුසුම් වීමට නොලැබුනි. එදින වවුලන් පියබා ගිය බවක්, බල්ලන් කන්පට ගැසූ බවක් හෝ කුකුළන් ඈතින් හැඬලූ බවක් මා හට මතක නැත . තේ එක පානය කිරීමටත් පෙර පොල් ගෙඩි ටික බිඳ, ගෑමට පටන් ගත්තෙමි. උනන්දුව විසින් ඇති කළ  ජවය හිරමනය කරකැවීම වේගවත් කළ අතර එය සවිකර තිබූ මේසය, එය මත වූ බඩුත් සමඟම දඩ දඩ ගා  සෙලවෙන්නට ගත්තේ භූමිකම්පාවක් සිහි ගන්වමිනි.

"මොකද ඔය හදිස්සිය ?" යි අම්මා ඇසුවේ ඇයද මාගේ වෙනස නිරීක්ශණය කළ බැවිනි.

මාගේ උනන්දුව ඔරලෝසුවට නැති සෙයකි. එය සුපුරුදු රිද්මයෙන්ම කිසිඳු හදිසියකින් තොරව කැරකෙමින් තිබුනි. එබැවින්ම මාගේ කාර්යය නිමා කිරිමෙන් පසු තවත් හෝරා කිහිපයක් නොයිවසිල්ලෙන් බලා සිටීමට සිදු වූවෙමි. එදින පොතක පතක වැඩක් කිරීමටද හිතේ නිස්කලංකයක් නොවුනි.

ගොලුබෙල්ලෙක් මෙන් ගමන් කළ ඔරලෝසුව අවසානයේදී අදාල ස්ථානයට ලඟාවිය. අයියාත් මා මෙන්ම සුදානම්ව සිටි බැවින් වෙනදාටත් කලින්ම අප විසින් යතුරු පැදිය එළියට අර ගත්තෙමු. තාර පාරෙහිද සැලකිය යුතු දුරක් ගෙවෙන තෙක් එය තල්ලු කරගෙන පැමිණියේ යම් හෙයකින් එය පණ ගතහොත් ශබ්ධය ඇසීම වැලැක්වීමටය. ඉන්පසු යතුරු පැදිය නතර කොට සිය සාක්කුවෙන් යතුර ගත් අයියා එය යතුරු සිදුරට ඇතුලු කර දකුණට කරකැවීය. දකුණු පස වූ හතරැස් කොළපාට බල්බය දීප්තිමතව දැල්වූයේ අපගේ සිත් සතුටින් පුරවාලමිනි. එම මොහොතේ ඇති කරවනු ලැබූ ඒ සතුට මිශ්‍ර හැඟීම, අදටත් යතුරු පැදියක යතුර දමා කොළ පාට බල්බය දැල්වීමේදි මා අත්විදිනු ලබමි. එම මොහොත සිහි කරවනු ලබයි. අප දෙදෙනා උඩ නොපැන්නා පමණයි. සතුටෙහි කෙලවරක් නොමැත. දැන් ඉතින් කළ යුත්තේ මේ නෙලා ගත් ඵලය භුක්ති විඳීමය. එය වංචාවක් බවත්, නොකළ  යුතු දෙයක් බවත් අවභෝධ වුවද ආශාව විසින් ඒ සියල්ල යටපත් කොට දමා තිබුනි.

"පොඩ්ඩක් ඉන්න තෙල් තියනවද දන්නෑ" යි කියමින් ඉදිරි අසුන ඔසවා පියන විවෘත්ත කළ අයියා ඉන්ධන තත්ත්වය පරික්ශා කොට බැලීය. එය සතුටුදායක මට්ටමක විය.

ඉන් අනතුරුව යතුරු පැදියට නැගි අයියා විසින් කික් පැඩලය පෑගීමෙන් එය පණ ගැන්වීය. ඇන්ජිමෙන් නැගුනු හඬ අපගේ සතුට දෙගුණ තෙගුණ කළේය.

එදින අප විසින් සිත්සේ යතුරු පදිය ධාවනය කළෙමු. නමුත් වෙනදාටත් කලින්ම එය නැවත රැගෙන ඒමට අප සැළකිලිමත් වූවෙමු.. මේ ලද අවස්ථාව හසු නොවන සේ භාවිතා කිරීමට අප දෙදෙනාම කතිකා කරගත්තෙමු. ඒ අනුව සෑමදාම එය නොපැදීමට තීරණය වූ අතර වෙනදාට වඩා කලින් එය පැදීමට අප විසින් සැළසුම් සකස් කෙරුවේ, පොඩි අංකල් වැඩට යන වේලාව වන විට ඇන්ජිම නිවී තිබිය යුතු බැවිනි. ඔහුගේ කකුලට රස්නය දැනේවියැයි බියක් අප හට තිබුනෙමු.

එදින පොඩි අංකල් වැඩට පිටත් වන ආකාරය දෙස අප දෙදෙනාම හොරෙන් නිරීක්ශණය කෙරුණේ ලබ් ඩබ් ලබ් ඩබ් අනුකරනයෙන් ස්පන්දනය වෙන වේගවත් හදවත්ද සහිතවය. වෙනදා මෙන්ම යතුරු පැදියට නැගි ඔහු, යතුර දමා කරකවා, කකුලෙන් කික් පැඩලය දකුණට හරවා යතුරු පැදිය පණ ගැන්වීය. සුපුරුදු ලෙසම එය කෑගසමින් අවදි වී අපගේ හදවත් වලට සමානුපාතිකව ගැහීමට පටන් ගත්තේය. ඉන්පසු පැති කණ්නාඩි සකස් කළ පොඩි අංකල් විසින් වම් කකුලෙන් ගියරකට දමා බෲම් ගා ඉගිලී ගියේ අපගේ හිත් සැහැල්ලුවකින් පුරවාලමිනි.

කාලය සෙමින් ගලා ගියේය. අප විසින් උපක්‍රමශීලී ලෙස පොඩි අංකල්ගේ යතුරු පැදිය භාවිතා කරමින් සිටියෙමු. පටි ගොතා එකතු කරගත් මුදල් වලින් ඉඳ හිට පෙට්‍රල් ගැසීමට තරම්ද අප කල්පනාව දුර දිග මෙහෙය වූවෙමු. ඒ මන්ද යත් අප ගැන පොඩි අංකල්ට ගතු කිව හැකි එක් ඔත්තු කරුවෙක්නම් ඉන්ධන ටැංකියයි. එමනිසා ඔහුට සන්තෝශම් දී සතුටින් තැබීමට අප වගබලා ගත්තෙමු. මෙතක් මෙම ක්‍රියාව හසු නොවීම පිළිබඳව විටෙක අපම මවිතයට පත්වීමු. "මේ මනුස්සයට මේක නොතේරෙනවාද, නැත්නම් තේරී ඒ බව නොහඟවා ඉන්නවාද " යන ගැටලුවත් අප දෙදෙනාටම වූවේය. ඒ මහාර්ඝ වස්තුව වූ "යතුර" වැඩි පරිස්සමට නිතරම අප සන්තකයේ තබා ගැනීමට වගබලා ගත්තෙමු. එවකට මා සතුවූ ගාංචුවක් සහිත නිල් පැහැති කොට කලිසමෙහි, මෙම යතුර නිතරම මා විසින් එල්ලාගෙන සිටියෙමි. එක් ඉරිදා දිනෙක මෙය නිරීක්ශණය කළ පොඩි අංකල් විසින් සියල්ලන් ඉදිරියේදී " ආ ආ දැන් යතුරු එල්ලගනමයි ඉන්නෙ නේද" යි ඇසුවේ සිනාසෙන ගමන්ය. ඔහු විසින් යමක් අවභෝධ කොටගෙන සිටින බවක් ඇඟවීදැයි සැකයක්ද අපට මතු වූහ. කෙසේ වෙතත් ඒ සම්බන්දයෙන් අයියාගේ දෝශාරෝපණයට ලක්වීමට මට සිදු විය.

"මම තමුසෙට කිව්වනෙ ඕක ඔහොම පේන්න එල්ලන් ඉන්න එපා කියලා, බලනවා දැන් පොඩි අංකල් මොනවා හරි හිතුවද දන්නෑ."

වැඩි පරිස්සම උදෙසා එයින් පසු අප යතුරු පැදිය භාවිතය ටික කලෙකට තවත් සීමා කළෙමු. දැන් දැන් ඒ සඳහා වූ ආශාවද හීන වෙමින් පැවතුනි.

වංචාවට, බොරුවට කෙටි කලක් පමණක් රජකම් කළ හැකි බව නැවතත් පසක් කරමින් අවසානයේදී ඒ අමිහිරි දිනය උදා විය.

එදිනද අප සුපුරුදු පරිධි යතුරු පැදිය පාරට ගෙන සිත්සේ පැද නැවත ගෙනවිත් තැබූවෙමු. දැන් පොඩි අංකල් පරික්ෂා කර බලාවියයි යන බිය සම්පූර්ණයෙන්ම අපගේ සිත් වලින් පහවී තිබූ බැවින් එය ගෙනවිත් නතර කළ පසු පාසල් යාමට සූදානම් වනවා මිස පොඩි අංකල්ගේ හැසිරීම් නිරීක්ශණයක් නොවුනි. එය එතරම්ම සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබුනි. එදිනද මම පාසල් යාමට සූදානම් වෙමින් සිටියෙමි. හදිසියේම නිවසේ ඉදිරි පසින් ඇසෙන කෑ ගැසීමේ ශබ්ධය කුමක්ද යන්න බැලීමට මම බොත්තම් නොපියවූ කමිසය පිටින්ම කාමරයෙන් පිටතට පැමිණියෙමි.

"කවුද මේ බයිසිකලේ පැද්දෙ ?" පොඩි අංකල් උස් හඬින් ඇසීය. ඔහු තදින්ම කෝපාශ්ඨ වී සිටියේය.

"පැද්දෙ ?? අපිනම් පැද්දෙ නෑ, තල්ලු කළා විතරයි" මම කීවෙමි.

"තල්ලු කළා විතරයි ? තල්ලු කළාම ඇන්ජිම රත් වෙනවද ? බොරුනම් කියන්න එපා හරිද. මම දැන ගත්තා යතුරු එල්ලගෙන ඉන්නකොට මොකක් හරි විකාරයක් කරන බව" යි ආදී වශයෙන් ඔහු විසින් උස් හඬින් අප වෙත දෝශාරෝපණය කළා පමණක් නොව අවනඩුව තාත්තාට සහ අම්මාටද ඉදිරිපත් විය.

අයියාත් මාත් මුහුණින් මුහුන බලා ඇස් වලින් කතිකා කරගත්හ. ඒ මා පැවසූ ප්‍රකාශයෙහිම එල්බ ගැනීමටයි. තාත්තා සහ අම්මා අපෙන් නැවත විමසා සිටියද අපගේ පිළිතුර එයම විය.

"අපි පැද්දෙනම් නෑ, තල්ලු කරන ගමන් ගියර් එකටනම් දැම්මා, ඒකෙන් රත් වුනාද දන්නෑ" යි අයියා විත්තිය වෙනුවෙන් තවත් සාක්ශියක් ගෙන හැර පෑවේය. එයින් පැමිණිලිකරුගේ කෝපය වැඩි වූවා මිස වෙන කිසිවක් නොවුනි. 

අවසානයේදී පැමිණිලිකරු කෝපයෙන් පුපුරමින් යතුරු පැදියට නැග පිටත්ව ගිය අතර තාත්තාගෙන් නැවත යතුරු පැදිය නොඅල්ලන ලෙස අවසාන නියෝගය ලැබුනේ බැනුම් වර්ෂාවකට පසුවය.

අප විසින් ඔහුගේ යතුරු පැදිය පැදීමට ගත් දා සිට, මුල්ම වරට එදින පොඩි අංකල් හට ඇන්ජිමේ වූ ලිහිසි තෙල් තත්ත්වය පරික්ෂා කිරීමට සිත්වී ඇත. ඒ සඳහා ඇන්ජිමේ වූ පියන විවෘත්ත කිරීමට යාමේදී එය රත් වී ඇති බව ඔහුට වැටහී යාම මෙලෙස අපගේ යතුරු පැදි භාවිතයේ ආරම්භයට නැවතීමේ තිත තැබීය. මෙය අප විසින් කිසිදිනක බලාපොරොත්තු වූ හෝ අනුමාන නොකළ දෙයකි. මේ පිළිබඳව කලින් සිහියට පැමිණියේනම් කිසිවිටකත් අප විසින් මෙම අවධානම නොගැනීමටත් ඉඩ තිබුණි. එයින් පසු අප විසින් ඔහුගේ යතුරු පැදිය වැරදීමකින්වත් නොඇල්ලුවෙමු .

එයින් දස වසරකට පසු, රැකියාවට යාම සඳහා උදේ හවහා, කාර්‍ය බහුල කොළබ-මීගමු පාරේ වාහන තද බදයන් අතරින් වංගු කපමින්, වෙට්ටු දමමින් යතුරු පැදියෙන්  ගමන් කිරීමට මෙම ආරම්භයෙන් ලද පරිචය ඉමහත් පිටිවහලක්ම විය.

~~නිමි~~

පිදුම : එදා, දරු පස් දෙනෙකුගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සිය ජීවිතයම කැප කොට ජීවන අරගලයක යෙදුනු, මෙදා, අංශභාග රෝගයෙන් ඔත්පලව ජීවිතය පවත්වා ගැනීම උදෙසා අරගලයක යෙදෙන, ආදරණීය අම්මාට.

ලියුවේ ;
~~සෙන්නා / 11.05.2013