Pages

අත්භූත අමුත්තා

2014 මැදින් මස 12වනදා

තිරිවානා පැහැති ගල් ජාතියකින් නෙලලා තිබුණු බුද්ධ රූපේ දකුණු පැත්තට වෙන්න තිබුණ සමරු ඵලකයේ වාක්‍ය පේළිය කියවන්න තමා මම උත්සහ කරමින් හිටියේ. කාගේදෝ අදහසකට අනුව, තව කෙනෙකුගේ ආරාධනයෙන්, තවත් කෙනෙකුගේ මැදිහත් වීමෙන්, තවත් කෙනෙකුගේ අධීක්ෂණයෙන් ඉදිවූ ගොඩනැගිල්ල තවත් කෙනෙකු අතින් විවෘත්ත වුණා කියලා කොටලා ඇති, ආයේ ඒකෙ සැකයක් නෑ. ආර්. ප්‍රේමදාස, බී සිරිසේන කුරේ, ජේ.ආර්. ජයවර්ධන කියනව වචන ලොකුවට කොටලා තිබුණ නිසා මම ඉන්න තැන ඉඳන් පහසුවෙන් කියව ගන්න පුළුවන් වුණාට අනිත් අය ගැන දැන ගන්න ඕනානම් ඉතින් ළඟටම යන්න වෙනවා. 

මම වාඩි වෙලා හිටියේ පබ් එක ඉස්සරහා තිබුණ ඕවලාකාර බැම්මේ පබ් එකේ ඉදිරි පසට මුහුණ දාලා. අසංක එනකම්. පබ් එකේ පාඩම් කරන එක පැෂන් එකක් වෙලා තිබුණ හින්දද කොහෙද අපිත් පබ් එකට ඇවිල්ලා පාඩම් කරන්න පුරුදු වෙලා හිටියේ ‍රැල්ලට ගහගෙන ගිය හින්දා මිසක් ගෙදර පාඩම් කරගන්න බැරිකමක් නිසා නෙමේ. නැත්නම් මුහුද අද්දර තිබුණු අපේ ගේ ගාව නිස්කලංකව පාඩම් කරන්න තැන් එමටයි. අසංක එනකම් මට වෙන කරන්න වැඩක් නොතිබුණ නිසා මම ළඟ තිබුණ බුදු පිළිමය දිහා බලාගෙන අනිමිසලෝචනයේ යෙදෙමින් ඉන්න කොට තමා පබ් එක හදවපු අයගේ විස්තරේ මගේ ඇහැ ගැ‍ටුණේ. හදවපු අය ගැන මිසක් හදපු අය ගැනනම් කිසිම සඳහනක් එහි තිබුණේ නෑ. මේ ලෝකේ කොහොමත් වැඩකරන මිනිහට වඩා වැඩ කරවන මිනිහගේ තමා නම යන්නේ. රුවන්වැලි මහ සෑය හැදුවෙත් දු‍ටු ගැමුණු රජ්ජුරුවෝ නෙමේනෙ. අනිත් ඔක්කොමත් ඔහොමම තමා.

කවුරු හරි අපි දිහා එක එල්ලේ බලා ඉන්නකොට, අපිට ඒ මනුස්සයා ඉන්න දිහා බලන්න හිතෙන ඒ අරුම පුදුම හැඟීම ඕගොල්ලොත් විඳලා ඇති නේද ? ඔන්න ඔය මොහොතෙම මට ඒ හැඟීම තදින්ම දැනුණ නිසා තමා මම බෙල්ල හරවලා වම් පැත්තෙන් පිටි පස්ස බැලුවේ. මම දිහා කන්න වගේ බලාගෙන මට ටිකක් එහායින් වාඩි වෙලා හිටපු මනුස්සයාව දැක්කම මාව එක පාරම ගැස්සුණා. මට එයා එනවා කියලා හාන්කවිසියක්වත් තේරුන්නෑනෙ !

බැලූ බැල්මට එයාට වයස අවුරුදු හතළිහකට කිට්‍ටු කරලා ඇති. කොණ්ඩේ කොටට කපලා, මොනවා හරි ජෙල් වගයක් ගාලා නීට් එකට පස්සට වෙන්න පීරලා තිබුණා. රැවුල ෆුල් ෂේව් කරලා. හරිම ප්‍රසන්න පෙනුමක් මම එයාගෙන් දැක්කේ. ඒ එක්කම මනුස්සයව කවදා හරි කොහේදී හරි මීට කලින් හම්බෙලා තියනවාය කියන හැඟීමත් මට ඒ වෙලේ තදින්ම දැනුණා. මම පොඩ්ඩක් කල්පනා කරේ කොහෙදිද මීට කලින් මෙයාව දැක්කේ කියලා මතක් කර ගන්න. ඒත් මට එහෙම මතකයක් සිහියට නගා ගන්න බැරි වුණා. 

එයා මාත් එක්ක හිනා වෙච්ච නිසා මමත් හිනාවකින් සංග්‍රහා කරන ගමන් සිරස් බැම්මට පිට දීලා හරි බරි ගැහිලා වාඩි වුණා.

"මොකද බුදු පිළිමෙ දිහා බලාගෙන කරන්නේ ? ගිහි ගෙය අතාරින්නද කල්පනාව ?"එයා මගෙන් ඇහුවේ හිනා වෙන ගමන්. මම ඒකටත් ලාවට හිනා වුණා මිසක් උත්තර දෙන්න ගියේ නෑ.

"පුතා සමන්ත නේද ?" මේ ප්‍රශ්නෙන් මම තවත් හොල්මන් වුණා. එයා කොහොමද මගේ නම දන්නේ කියන ප්‍රශ්නෙ නිකන්ම මට මතුවුණා.

"ඔයා කොහොමද දන්නේ? ඔයා කවුද?"

"මම දන්නවා, ඒත් ඒ කොහොමද කියලා අහන්න එපා." එහෙම කියපු ඔහු කට කොනකින් හිනා වුණා..

"අසංක එනකම් නේද ඉන්නේ ? පාඩම් කරන්න යන්න !" එළියට පනින්න ඔන්න මෙන්න තරමට ලොකු වුණ මගේ ඇස් ගෙඩි දෙකෙන් මම එයා දිහා කන්න වගේ බලන් හිටියේ "මොකෙක්ද මූ? " කියලා මගෙන්ම අහ ගන්න ගමන්.

"ඔයා කවුද ? කොහොමද මාව දන්නේ ?"

"මම කවුද කියලා පුතා දවසක දැන ගනියි." මම දිගටම පුදුමයෙන්. 

එයත් එක්ක කතා කරනකම්ම මම හිතෙන් උත්සහා කරේ මෙයා කවුද කියලා මතක් කරගන්න. මගේ නම, අසංකගේ නම, මම මෙතන ඉන්න හේතුව දන්න නිසා මෙයා මම ගැන හොඳින් දන්න කවුරුහරි වෙන්න ඕනා කියලා මම අනුමාන කළා. සමහර විට මම නොදන්න අපේ නෑයෙක් වෙන්නත් පුළුවන් ! සාමාන්‍යයෙන් මම අදුනන්නැති අය එක්ක එච්චර බජනෙකට යන්නේ නෑ. වචනෙන් දෙකෙන් උත්තර දීලා නිකන් ඉන්නවා. හැබැයි මෙයා එක්ක කතා කරන්නනම් මට කිසිම චකිතයක්වත්, අකමැත්තක්වත් තිබුණේ නෑ. බර වෙලා තිබුණ අහස දිහා බලලා "වහින්න වගේ නේද?"කියලා ආයේ පටන් ගත්තු අපේ කතාව අතරින් පතර නැවතෙමින්, විවිධ මාතෘකා ඔස්සේ ඇදිලා ගිහිල්ලා අන්තිමට වර්ෂාවසානයේ පැවැත්වීමට නියමිත අපේ විභාගේ දක්වාම ආවා. 

"හැබැයි පුතාට මේ අවුරුද්දේ විභාගේ කරන්නනම් වෙන්නේ නෑ." මේ පාරනම් පුදුමය වැඩි කමට මගේ කටත් ඇරුනා. ඒත් ඊලඟට මම ඒක විහිලුවක් හැටියට තමා සැලකුවේ.

"ඇයි ඒ !? ඔයා කොහොමද දන්නේ ? " 

"මම වැඩි විස්තර කියන්නේ නෑ. යම් හෙයකින් ඔයා වෙන්න තියනදේ වලක්වන්න හැදුවොත් ඒක ඉතාම නරක විදිහට අනාගතයට බලපාන්න පුළුවන්. කොහොමත් ඒකෙන් ඔයාට ලොකු හානියක් වෙන්නේ නෑ."

"මම යන්නම්, යාළුවා එනවා." අසංක ආපු හින්දා මම එයාගෙන් වෙන්වෙලා පබ් එක ඇතුළට යන්න අසංක එක්ක එකතු වුණා. තමන් කවුදැයි හඳුන්වා දීම දිගින් දිගටම මගහැරපු නිසා මම ආයෙ එයාගෙන් ඒ ගැන අහන්න ගියේ නෑ. 

"කවුද බන් ඒ ?"

"අනේ මංදා බන්, මහ අමුතු පොරක්. මිනිහා කියනවා මට මෙදාපාර විභාගේ කරන්න හම්බෙන්නෑල්ලු." ඒ මනුස්සයාව පිස්සෙක් කියලා හඳුන්වන්න තරම් මම ඉක්මන් වුණේ නෑ.මොකක් හරි නොතේරෙන හේතුවක් නිසා මම මේ මනුස්සයට ලොකු ලෙන්ගතු කමක් දක්වනවා. ඒ මොකද කියලා මටම හිතා ගන්න බෑ. 

"මිනිහා කොහොමද එහෙම කියන්නේ? එයා සාත්තර කාරයෙක්ද?"කොහෙද යන පිස්සෙක්ද කොහෙද !"

"අනේ මංදා බන් මටත් තේරෙන්නෑ."

"මම හිතුවේ උඹලෑ අයියා කෙනෙක් වෙන්නැති කියලා. මිනිහා ටිකක් උඹ වගේමයි." අසංක එහෙම කිව්වේ හිනා වෙවී.

"මොකාක් !! මම වගේ !??"නිරාසයෙන්ම මම ආපසු හැරුනේ ඔහුව නැවත දැක ගැනීමේ අපේක්ෂාවෙනි. එහෙත් ඒ වන විටත් ඔහු එතනින් අන්ත්‍රස්දාන වී තිබුනි.

එහෙනම් මම හිතුවා හරි. එයා අපේ නෑ කෙනෙක් වෙන්නෝනා. ඒත් එහෙනම් මම එයාව නොදන්නේ කොහොමද ?

විභාගය වෙනුවෙන් දිගින් දිගටම මහන්සි වෙච්ච නිසා, මේ සිද්ධිය මට එහෙම් පිටින්ම අමතක වෙලා ගියා. ඒත් නොවැම්බර් මාසේ අන්තිමදා වෙච්ච මෝටර් සයිකල් අනතුර නිසා ආයෙත් ඔහුව මතක් වුණේ මාසයක් එකහාමාරක් විතර යනකම් දකුණු අතෙන් වැඩක් ගන්න බැරිවෙනවා කියලා දැන ගත්තමයි. මේ වෙනකම් වෙච්ච මහන්සිය වතුරේ ! ඊට පස්සේ අසංකයි මමයි කවුද මේ මනුස්සයා කියලා වරු ගණන් කතා කරන්න ඇති. දවස් ගාණක් පබ් එක ඉස්සරහා මුර කළත් ආයෙ එයාවනම් දකින්න ලැබුණේ නෑ. මේ ලෝකේ අරුම පුදුම මිනිස්සු ඉන්නවා කියලා හිතහදා ගන්නවා ඇරෙන්න අපිට වෙන විකල්පයක් ඉතුරු වෙලා තිබුණේ නෑ. 

මාස කිහිපයක් ඔහොම්මම ගෙවිලා ගියා. දැන් මට තනියමම විභාග කඩුල්ල වෙනුවෙන් ලක ලෑස්ති වෙන්න වෙලා තියන නිසා පබ් උණ එහෙම හොඳ වෙලා තිබුණේ. ගේ ගාවම තිබුණ බීච් එකේ, හෙවණක් යට පොල් කොටන් හිටෝලා අටව ගත්තු තාවකාලික බංකු කෑල්ලකුයි, ඒ විදිහටම හදාගත්තු මේස කෑල්ලකුයි එක්ක මම ආයෙත් වැඩේට බැස්සා. පබ් එකට වැඩිය මේක බොහොම නිස්කලංකයි. යන්න එන්න යන වෙලාවයි, සල්ලියිත් ඉතුරුයි.

එදා මගේ අවධානය තදින්ම ගාණකට යොමු වෙලා තිබුණ වෙලාවෙ කවුදෝ මගේ පිටිපස්සේ ඉඳන් "පුතා කොහොමද ? පාඩම් කරනවා වගේ !" කියනවා ඇහිලයි මම පිටිපස්ස හැරිලා බැලුවේ. දෙවියනේ ! එයා !! ආයෙත් !! මගේ ඇස් ගෙඩි දෙක දොඩම් ගෙඩි දෙකක් විතර ලොකු වෙන්න ඇති මේ බලාපොරොත්තු නොවුන මේ හමුවීමෙන්.

"අපි ඔයාව කොච්චර හෙව්වද ? ඊට පස්සේ නිකන්වත් දකින්න ලැබුණේ නෑනෙ !?"

"මට ඊට පස්සේ එන්න බැරුව ගියා. ඉතින් කොහොමද?  ආයේ පාඩම් කරනවා වගේ !?" 

"ඒකනෙ ! අපි හිතුවේ ඒක විහිළුවක් කියලා. ඔයා කියපු එක එහෙම් පිටින්ම අමතක වෙලයි තිබුණේ මේ සිද්ධිය වෙනකම්ම. ඔයා ඇත්තටම කවුද? කොහොමද එහෙම අනාවැකියක් හරියටම කිව්වේ? 

"මට ඔයිට වැඩිය අනාවැකිත් කියන්න පුළුවන්. හරියටම හරි යන ඒවා. ඔයාට ඒක දැන ගන්න ලැබෙන දවසක් තියනවා පුතා. එතකන් ඉන්න. මම ඒ ගැන මොකුත්ම කියන්නෙ නෑ."

"එහෙනම් ඉතින් කියන්න පුළුවන් කියපු අනාවැකිවත් කියන්න."මම කිව්වේ හිනාවෙන ගමන්. හිනාවුණේ ඔහුට මම කියන දේ විහිළුවක් කියලා පෙන්වන්න. ඒත් ඇත්තටම අනාගතයේදී වෙන්නේ මොනවද කියලා දැනගන්න කාටත් තියන කුතුහලය මටත් අඩු නැතුවම තිබුණා.

ඒත් ඊට පස්සේ එයා අපේ පවුලේ විස්තරයි වෙන වෙන දේවලුයි පැත්තට කතාව අරගෙන ගියා. එයා එහෙම අනාවැකි කියන්න එච්චර මනාපයක් පෙන්නුවෙ නෑ කියලා තමා මට හිතුනේ. ඒත් මගේ කුතුහලය ඊට වැඩිය වැඩියි. ඒක නිසාම ඒ ගැන මම එයාට ආයෙත් මතක් කළා.

"හරි කියන්නම්, හැබැයි ඔයාගේ පුද්ගලික ජීවිතේ ගැන වෙන මුකුත්ම මම කියන්නේ නෑ. ඒක ඔයාට ලොකු මානසික වදයක් වෙයි. හෙට මොනවද වෙන්නෙ කියලා අද දැනගෙන ජීවත් වෙන එක විශාලා මානසික පීඩනයක්. ඒකයි අනාගතේ අපි හැමෝගෙන්ම වහලා තියෙන්නේ.

"එහෙනම් ඇයි එදා කියුවේ? මම විභාගෙට ලෑස්ති වෙන වෙලාවක වෙලත් !" මේ වෙලාවෙනම් මට ඔහු ගැන ටිකක් කේන්ති ගියා කියුවොත් වැරදි නෑ..

"ආහ් ඒක !, මට නිකමට හිතුණා ඔයාට මම ගැන පොඩි ඉඟියක් දෙන්න. අනික මම දැනගෙන හිටියා ඔයා ඒක විශ්වාස නොකර අමතක කරලා දාන බව. ඒත් දැන් තත්ත්වය වෙනස්. දැන් මම කියන හැම අකුරක්ම ඔයා විශ්වාස කරනවා."

"හරි මට තේරුණා. එහෙනම් ඉතින් ඔයාට කියන්න තියෙන්නෙ රටට ලෝකෙට වෙන්නෙ මොනාද කියලා තමා."

"ඔව්, මේ ටික අහගන්න. ඕනනම් කොහෙ හරි ලියා ගන්න. හැබයි කා එක්කවත් ඕවා කියන්න යන්න එපා. කවුරුවත් විශ්වාස කරන්නේනෑ. ඔයාට පිස්සු කියලා හිතනවා මිසක්. හරිද?" මම හා කියලා ඔළුව දෙපැත්තට වැනුවා.

"අනිත් එක මම වෙන අවුරුද්ද විතරයි කියන්නේ, දිනේ කියන්නෑ. ඔයා මොකක් හරි වෙනසක් කරන්න හැදුවොත් ඒක අනාගතේට දරුණු විදිහට බලපාන්න පුළුවන්. තේරුණාද? ඔයා මේවා නිකන් හිතේ තියා ගන්න. එච්චරයි. කොහොමත් වෙන්න තියනදේ වෙනවා." මම ආයෙත් ඔළුව වැනුවා.

"1993දී, ඒ කියන්නේ ලබන අවුරුද්දේ ජනාධිපතිවරයා මියයනවා. බෝම්බෙකට අහුවෙලා."

"නෑහ්...." ඒකට ඔහු නහයෙන් පිඹින ගමන් කට කොනකින් හිනා වුනා.

"නෑ නෙමේ ඔව්. බලාගෙන ඉන්නකෝ ඒකට තව වැඩිකාලයක් නෑනෙ."

" ඊට පස්සේ....1996දී ඕගොල්ලන්ට බොහොම සතු‍ටු වෙන්න පුළුවන් දෙයක් වෙනවා."

"නෑහ්!.. ඒ මොකක්ද?"

"ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනාගන්නවා."

"මොකාක් !! වෙන්න බෑ ! අපි කොහොමද ලෝක කුසලානයක් දිනන්නෙ ? වෙන්න බෑ. " මගේ වචන අහපු ඔහු හිනා වුණා. "හරි දැන් ඔයාට තේරෙනව නේද මේවා කාට හරි කියුවට කවුරුවත් පිළිගන්නේ නෑ කියලා. අත්දැකීමෙන් දන්න ඔයත් පිළිගන්නේ නැති කොට. හෙහ් හෙහ්.. අඩුම ගානේ ඔයාගෙ යාළුවටවත් කියන්න යන්න එපා."

"අනිත් එක තමා 2004දී මුහුද ගොඩ ගලලා විශාල විනාශයක් වෙනවා. දාස් ගාණක් මැරෙනවා එකෙන්."

"දෙවියනේ ! ඒ මොකද ඒ ? අඩුම ගානේ  ඒකවත් කාටවත් කියන්න එපාද ? වෙන්න තියන විනාශය වළක්වගන්නවත් ! "

"එපා. වෙන්න තියන දේවල් වෙන්නම ඕනා. ඒවා වෙනස් කරන්න හොඳ නෑ. ඒවා එහෙම වෙන්න හොඳ හේතු ඇති. අපි නොදන්නවා වුණාට."

"එතකොට මේ යුද්දෙට මොකද වෙන්නේ ? කවද්ද මේක ඉවර වෙන්නෙ? " 

"ආහ්.. ඒක මට අමතක වුණානෙ. ඔව්, යුද්දේ ඉවර වෙනවා. හැබැයි අද හෙට නෙමේ 2009දී. සෑහෙන විශාල කැපකිරීම්, විනාශවීම් ගොඩකට පස්සේ හමුදාව ත්‍රස්තවාදීන්ව පරාජය කරලා දිනනවා. ඒත්... "

"ඇත්තද ! ඒකනම් බොහොම සතුටට කාරණයක්. ඇයි ඒත් කියලා නැවැත්තුවේ?"

"යුද්දේ ඉවර වුණාට, ලංකාවට කරන්න වෙන යුද්ධයක් ඉතුරු වෙනවා. ඒ තමයි මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා වලට උත්තර හොයන්න වෙන එක. ඒක හරියට කළමනාකරණය කර නොගත්තොත් යුද්ධෙන් බැරි වෙච්ච ඊළම ඔවුන් ඒ මගින් දිනා ගැනීමේ අවදානමක් තියනවා."

"ඇත්තටම එහෙම මානව හිමිකම් කඩවීමක් වෙනවද ? "

"හෙහ් හෙහ්... මානව හිමිකම් ‍රැකගෙන කරන්න පුළුවන් හෝ කරපු යුද්දේ මොකක්ද පුතා !. යුද්දේ කියන වචනෙම ඒක අන්තරගත වෙලා තියනවා. ඒවා ඉතින් ලෝක බලවතුන් තම තමන්ට අවශ්‍යය විදිහට පරිහරණය කරනවා. කන්න ඕනා වුණාම කබරගොයාව තලගොයා කරගෙන කනවා. දුකට කාරණේ ලංකාවෙම මිනිස්සුත් ඒවට උල්පන්දම් දෙන එක තමා. "

"ඉතින් ඒකට මොකද වෙන්නේ කියලා ඔයාට කියන්න බැරිද ? "

"බෑ, ඒක මගේ දැනුමෙන් එහා තියන කාරණයක්."

ඒක වෙන්න ඇති මගේ ජීවිතේ විස්මිතම මිනිත්තු කිහිපය. ඒ වෙලාව අතරතුර මම නොකඩවාම පුදුමයට පත් වෙච්ච එක තමා වුණේ. අන්තිමට ඔහු මගෙන් සමුඅරගෙන වෙරළ දිගේ ඇවිදගෙන යන්න ගියා. ආයේ එන්නෙ කවදද කියලා ඇහුවම කියුවේ "කියන්න බෑ" කියල තමා. ඇත්තටම කවුද මේ මනුස්සයා ?



xxxxxxxx



ජීවිතයේ විවිධාකාරවූ හැලහැප්පීම් මැදින්, මා වැඩිහිටියකු බවට පත් කරමින් කාලය ගලා ගියේය. බිරිඳගේ අකාල මරණයත්, ඉන් ටික කළකට පසු සිදුවූ පියාගේ මරණයත් මා දරුණු කම්පනයකට ලක් කොට ජීවිත ආශාව නැති කෙරුවේ වුවද, ඔත්පලව සිටින මව රැකබලා ගැනීම උදෙසා මා හට ජීවත්වීමට සිදුවී තිබුණි.  ඒ අපූර්ව පුද්ගලයා, අත්භූත අමුත්තා, ඉන්පසු කෙදිනකවත් මා හට මුණ නොගැසුණි. එහෙත් ඔහුගේ අනාවැකි එකින් එක සත්‍යවන විට මා සිතෙහි ඔහු කෙරෙහි වූ ගෞරවය දිනෙන් දින දළුලා වැඩුණි. එම අනාවැකි කිසිවකුත් සමඟ පැවසීමෙන් වළකින ලෙස ඔහු කීවද මා හට එම පොරොන්දුව ඉ‍ටු කිරීමට නොහැකීවීමේ ප්‍රතිඵලයක් ලෙසින් මා විහිළුවට ලක්වූ වාරයන් අනන්ත වුවද ඒවා එලෙසින්ම ඉ‍ටු වූ විට මා හට හිනාවූ පුද්ගලයින් මා දෙස අමුතු සතෙකු දෙස බැලූ බවත් මතකය. එහෙත් සැවොම මෙන් ඒවා "කණා ෂොට්" ලෙසට සැලකූ බවට සැකයක් නොමැත.



අධ්‍යාපනයෙන් ඉහළටම ගිය මගේ අතිජාත මිත්‍රයා, අසංක, යුරෝපයේ පිළිගත් පර්යේෂණායතන කිහිපයකම භෞතික විද්‍යාඥයෙකු ලෙස සේවය කිරීමෙන් පසු ලංකාවට නැවත පැමිණියේ ලොකු සැලැස්මක්ද සහිතවය. ඔහුගේ නවතම පර්යේෂණයට සහායකයකු ලෙස එක්වීමට කළ ඉල්ලීම මා විසින් ඉවත දැමුයේ රෝගී මවගේ උවටැන් කිරීමට එයින් සිදුවන අවහිරය නිසාවෙනි. කෙසේ වෙතත් අවසන මවගේ අභාවයත් සමඟින් මෙලොවෙහි හුදකලා වූ මා ඔහුගේ ඉල්ලීම සලකා බලා ඔහු හා එක්විය. මුලු ලොවම මවිත කළ හැකි වූ එම නිර්මාණයෙහි සාර්ථක ප්‍රතිඵල අත්කරගැනීමට හැකිවූයේ අසංකගේ නොපසුබස්නා උත්සහාය නිසාම බව මාගේ විශ්වාසයයි. ඔහු මේ වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසුනි. අසංක මාගෙන් බලාපොරොත්තු වූයේ විශ්වාසදායක මිතුරෙකු ලෙස ප්‍රථම අත්හදාබැලීම උදෙසා සහභාගී වීමයි. එය ජීවිතය පිළිබඳ අතිශය තීරණාත්මක කරුණකි. සියල්ල යහතින් සැලසුම් කළ පරිදිම සිදු වුවහොත් යහපත්ය. නැතහොත් ප්‍රතිඵලය විනාශකාරීය. ක්ෂීරපත මංදාකිනියෙන් පිටතට ගොස් නැවත පැමිණෙන අභ්‍යාවකාශ පර්යේෂණයකට සහභාගී වන විට ඇති අවදානම කොතෙක්ද, මෙහි ඇති අවදානම එයින් බිඳුවක් හෝ අඩු නැත. එහෙත්, ඒවන විට මෙලොවෙහි හුදකාලාවී සිටි මා හට එවැනි තීරණයක් ගැනීම සඳහා බාධාවක් නොවුණි. 



xxx

ගමනාන්තට පැමිණි මා මුලින්ම සිදු කෙරුවේ කිසිවකු හෝ මාගේ පැමිණීම නිරීක්ෂණය කළේදැයි පරික්ෂාකර බැලීමයි. කිසිවකුගේ හෝ විශේෂ අවධානයකට මා ලක්වී නොතිබුණි. මා පැමිණ තිබුණේ කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපසටය. එය ඉදිරිපසවූ ඕවලාකර ගල් බැම්මෙහි අසුන් ගෙන ඉදිරියෙන්වූ බුදු පිළිමය දෙස නෙත්යොමාගෙන සිටි වයස දහසයක් තරම් වූ ළමයකු දු‍ටු මට එම අවස්ථාවෙහි යම් හුරු බවක් දැනුණි. මින් පෙර මේ හා සමාන සිද්ධියක් සිදුවී ඇති බව තදින්ම දැනෙන්නට විය. මදක් සිත යොමු වීමේදී ඒ අපූර්ව අතීත සිද්ධිය ඒක්ෂණයෙන් මාගේ සිහියට නැගුණි. 

"මම කවුද කියලා පුතා දවසක දැන ගනියි." ඔහුගේ වදන් මා සිතෙහි නින්නාද විය.

"දෙවියනේ, මේක වෙන්න පුළුවන් දෙයක්ද ? මේ ගැන නිකමට හරි මීට කලින් මට නොහිතුණේ කොහොමද? "මම මාගෙන්ම අසාගතිමි. මින් බොහෝ කලකට පෙර මා හමුවට පැමිණි ඒ අත්භූත අමුත්තා කවුරුන්දැයි වටහා ගැනීමට මේ මොහොත දක්වාම මාහට නොහැකි වීම එක අතකින් විශ්මයජනකය. අනෙක් අතින් එහි එතරම පුදුමයක්ද නොමැත. මන්දයත් අප කිසිවකුටත් එවැනි අනුමානයක් සිදු කළ නොහැකි හෝ එවැනි දෙයක් විය හැකියැයි අනුමාන නොකරන බැවිනි. එහෙත් මේ සමබන්ධයෙන් මා අසංකට සහය දක්වන වේලේ අප කෙතරම් මෙවැනි දෑ ගන සාකච්ඡා කරන්නට ඇතිද ? ඒ එකඳු අවස්ථාවකවත් මේ අත්භූත පුද්ගලයා කවුරුන්දැයි තේරුම් ගැනීමට නොහැකි වීම ඇත්තෙන්ම විශ්මයජනකය. සමහර විට ඒවන ඔහු මාගේ මතකයෙන් බොහෝදුරට ගිලිහී සිටීම නිසා වන්නත් පුළුවන. මම මෙලොවෙහි ඉතාම කලාතුරකින් සිදුවිය හැකි අති විශ්මයජනක සිදුවීමක පංගුකාරයෙකු වෙමින් සිටියෙමි.


ඔහුට නොදැනෙන ලෙස ඔහු අසලට ගිය මම ඒ අසලින්ම අසුන් ගෙන මවිතයෙන් ඔහු දෙස බලාසිටින්නට වීමි. සිදුවෙමින් පවතින දේ තවමත් නිසි අයුරින් ග්‍රහණය කරගැනීමට මම වෙර දරමින් සිටියෙමි. මෙය මෙලොවෙහි කිසිඳු මිනිසකු මින් පෙර නොවිඳි අත්දැකීමක් බව මට ඉඳුරා කිවත හැකිය. බුදු පිළිමෙ දෙස අවධානය යොමාගෙන සිටි ඔහු එකවරම හැරී මා දෙස බැලුවෙ මාගේ පැමිණීම ඔහුට සංවේදනය වූ  නිසා විය යුතුය. මා ඔහු හා සිනාසුණ බැවින් ඔහුද පෙරළා සිනාවකින් සංග්‍රහ කළේය. 


"මොකද බුදු පිළිමෙ දිහා බලාගෙන කරන්නේ ? ගිහි ගෙය අතාරින්නද කල්පනාව ?" මම ඔහුගෙන් ඇහුවේ සිනා සෙමින්. එහෙත් ඔහු යාන්තමින් සිනාසුණා හැර පිළිතුරක් නොදුන්නේය. 

"පුතා සමන්ත නේද ?" 

"ඔයා කොහොමද දන්නේ? ඔයා කවුද?" මෙයින් ඔහු පුදුමයට පත් වෙනු මා නිරීක්ෂණය කළෙමි.

"මම දන්නවා, ඒත් ඒ කොහොමද කියලා අහන්න එපා." 

"අසංක එනකම් නේද ඉන්නේ ? පාඩම් කරන්න යන්න !" මේ ප්‍රශ්නෙන් ඔහු පුදුමයෙන් පුදුමයටම පත්වුණා කියුවොත් නිවැරදියි. ඔහුට ජනිතවෙන සිතුවිලි පිළිබඳ අවබෝධයක් තිබූ බැවින් මාගේ මුවගට සිනාවක් නැගුණේ නිතැතිනි.

"ඔයා කවුද ? කොහොමද මාව දන්නේ ?"

"මම කවුද කියලා පුතා දවසක දැන ගනියි." 

-- නිමි --

රූප රහිත අවවාදයයි : ප්‍රස්තුත සංසිද්ධිය සම්බන්ධයෙන් දිගින් දිගටම සිත වෙහෙසීම මගින් මොළයෙහි පරිපථ බිඳවැටීමකට ලක් විය හැකිය.  :D

ලියුවේ;

~~සෙන්නා / 12.03.2014